Tuesday, July 23, 2013

ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් CD නොමිලේ


ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර විසින් රචිත ලාංකීයයන් සඳහා උබුන්ටු ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් සංගත තැටිය නොමිලේ ලබා දෙන බව සතුටින් දැනුම් දෙමි. මෙම සංගත තැටිය පිටපත් කිරීම සඳහා පූර්ණ දායකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලබා දී ඇත. මෙම ග්‍රන්ථය දිවයිනේ සෑම ප්‍රධාන පොත්හලකින්ම ලබා ගැනීමේ පහසුව ඇත.



ග්‍රන්ථයේ කතුවරයා ගැන....

ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදර යනු පරිගණක තාක්ෂණය පිළිබඳ පුළුල් දැනුමක් ඇති එමෙන්ම පරිගණක විෂයන් ගැන ග්‍රන්ථ ගණනාවක් රචනා කර ඇති කතුවරයෙකි. මෙය රචනා කිරීමේදී මාහටද මුල සිටම ඔහු සමග කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් ලෙස සිතමි. විශේෂයෙන්ම මා හදවතින්ම ආදරය කරන විවෘත මූලාශ්‍ර මෘදුකාංග පිළිබඳව මෙම ග්‍රන්ථයට වස්තු මූලය වී තිබීම මා පිනවූ ප්‍රධාන කරුණක් බව පිළිගනිමි. එය තවත් තීව්‍ර වන්නේ මෙම ග්‍රන්ථය සමග සහළාන ලිනක්ස් පිටපත් නොමිලේ ලබා දීමට ඔහු තීරණය කර තිබීමත් ඒ සඳහා ICTA ආයතනය මූල්‍ය දායකත්වය සැපයීමට ඉදිරිපත් වී තිබීමත්ය.
සහළාන පිටපත් අන්තර්ජාලයෙන් බාගත නොහැකි අයට නොමිලේ ලබා දීමට මා හට ශක්තියක් නොමැතිව සිටි අවස්ථාවක (මා සේවයකළ ආයතනයෙත් උදව් නැතිව මේක කරන්න බෑ. දැන් ඇති. දැන් මේක මම නවත්වනවා කියලා සිටි මොහොතක) "තාරක, අපි සහළාන ලිනක්ස් පිටපත් මගේ ග්‍රන්ථය සමග නොමිලේ ලබා දෙමු" යැයි කියා එය වචනයට පමණක් සීමා නොකර එය වෙනුවෙන් බොහෝ මහන්සි වී එය යථාර්ථයක් බවට පත් කර දීම ගැන මම ඔහුට හා ICTA ආයතනයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.


ග්‍රන්ථය ගැන....

මා මේ ග්‍රන්ථය රචනා වන ආකාරය මුල සිටම අත්වින්දෙමි. එය මා රස වින්දෙමි. උබුන්ටු ලිනක්ස් ගැන සෑම දෙයක්ම අඩු නැතිව සිංහලෙන් ලියවුනු එකම පොත මෙය බව මම නොබියව කියමි. ග්‍රන්ථ පරිශීලකයා පරිණත උබුන්ටු පරිශීලකයෙකු බවට මෙම ග්‍රන්ථය විසින් ආයාසයකින් තොරව පත්වනුයේ එහි රචනයේ ඇති රසවත් බවත් සරළ බවත් හා ප්‍රදීප් කාවින්ද කොටුවේගෙදරගේ දක්ෂ රචනා ශෛලියත් නිසාවෙනි. උබුන්ටු පරිශීලකයෙකු අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු සියල්ලම ඉතා පුළුල්ව මෙම ග්‍රන්ථයේ විස්තර කර ඇත.
මෙතෙක් බාධකයක්ව පැවති ලිනක්ස් ගැන ඇති ගැටළු නිරාකරණය කරන ආකාරයන් දැන ගැනීමේ මගක් නොමැති වීම යන කාරණාව මෙම කෘතිය විසින් ඉතිහාසයේ කුණු කූඩයට දමා ඇත. එමෙන්ම, පරිගණක විශාරදයින්ට හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ පුද්ගලයන්ට පමණක් සීමා වී තිබූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සෑම පුද්ගලයෙකුටම වැළඳ ගැනීමට මෙමගින් හැකිවී තිබේ.
ඕනෑම අයෙකුට කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව තනිවම උබුන්ටු මෙහෙයුම් පද්ධතිය හැසිරවීමටත් මෘදුකාංග ස්ථාපනය කර, ඉන් නොනැවතී තමන්ට රිසි ආකාරයකට වෙනස්කර භාවිත කිරීමට හැකියාව හා දැනුම මෙම කෘතිය විසින් ලබා දී තිබේ. මෙම කෘතිය සමාජ සත්කාරයක් වන අතර අප රටේ මුදල් අප රට තුළම ඉතිරි කර ගැනීමටත්, අන් සතුදේ සොරකම් කිරීමේ පාපක්‍රියාවෙන් අප ගලවා ගැනීමටත් උපකාරී වේ.

පොත මිළදී ගත හැකි තැන්....

මරදාන දයාවංශ ජයකොඩි
විජිත යාපා http://www.vijithayapa.com/pdesc.php?id=28822
සරසවි
ගොඩගේ පොත් මැදුර