Monday, October 18, 2010

විවෘත මූලාශ්‍ර මෘදුකාංගවල ඇති හොඳ සහ නරක සහ මෙතෙක් ඔබ නොදත් දේ

විවෘත මූලාශ්‍ර මෘදුකාංග වානිජ වශයෙන් විකිණීමට ඇති මෘදුකාංග හා සංසන්දනය කලවිට ඒ දෙක අතර නොයෙකුත් වෙනස්කම් අපට දක්නට ලැබෙනවා. එකම කාර්යයක් කිරීම සඳහා සාදා ඇති විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක් හා වානිජ මෘදුකාංගයක් සංසන්දනය කළ විට ලැබෙන ප්‍රථිපලය ඒ කියන්නේ ඒ දෙක අතර ඇති ගුණ දොස් විවිධාකාරයි.

අපි උදාහරණ කීපයක් මෙහිදී සලකා බලමු.

මුලින්ම Ms Office හා Openoffice.org නොහොත් දැන් Libreoffice ලෙස හඳුන්වන මෘදුකාංග දෙක ගමු

Ms office වල ඇති පහසුකම් වලින් 80%ක් පමණ අපට Openoffice තුල දැකිය හැක. නමුත් openoffice තුල එයට ආවේණික වූ පහසුකම් කිහිපයක් ඇත. කෙසේ වෙතත් අපිට අවශ්‍ය දේ ඒ දෙකෙන්ම කරගන්න පුළුවන්. භාවිතා කිරීමේදී MS office වඩාත් පහසු බව සමහර අයට දැනෙන්නට පුළුවන්. ඒ දෙකේ මිල සංසන්දනය කලොත් අනිවාර්යයෙන්ම openoffice ජයග්‍රහණය ලබනවා. මන්ද openoffice නොමිලයේ ලැබෙන විට Ms office සඳහා අපිට විශාල මුදලක් වැය කරන්න සිදුවීමයි. Sun සමාගම Oracle විසින් මිලදී ගැනීමත් සමගම openoffice සඳහා අනුග්‍රාහකත්වයට ගැටළු ඇතිවී ඇත. ඒත් openoffice නැතිවී යයි කියා අපට ගැටළුවක් ඇති නොවේ. මන්ද දැනට එය libreoffice නමින් නිකුත් කර ඇති නිසයි. Source Code එක කාටත් පොදුවේ ලබා ගැනීමටත් වෙනස් කිරීමටත් හැකියාව ඇති නිසා open source මෘදුකාංග වඳවීයාමේ තර්ජනයෙන් තරමක් දුරට ගැලවී සිටිනවා කියන එකට මේකත් එක්තරා හොඳ උදාහරණයක්.

Adobe photoshop සහ Gimp ගෙන බැලුවොත් photoshop නව සංස්කරණයේ පහසුකම් වලින් 50%ක් වත් Gimp වල දක්නට නොලැබේ. නමුත් Gimp නව සංස්කරණය අඩු Ram ප්‍රමාණයක් ඇති පරිගණකයක වුවත් හොඳින් ක්‍රියා කරනවා. Photoshop සඳහා විශාල මුදලක් වැයවන අතර Gimp නොමිලයේ ලැබේ. ඉතිං නොමිලයේ ලැබුනද Gimp ඉතා හොඳ photoshop ආදේශකයකි.

Inkscape යනු Corel draw/illustrator සඳහා ඇති හොඳ ආදේශකයකි. නමුත් එයද ඉහත සඳහන් කල මෘදුකාංගවල මෙන්ම පහසුකම් අතින් corel draw/Illustrator වලට වඩා පහලින් සිටියි.

අපිට පොදුවේ දැකිය හැකි වන්නේ විවෘත මූලාශ්‍ර මෘදුකාංගවල භාවිතයේ ඇති පහසුකම් අඩු වුනත් ඒවා ස්ථාවරත්වයෙන් සහ විනිවිදභාවයෙන් කිසිවකට දෙවෙනි නොවන බවයි. එමෙන්ම යාවත්කාල කිරීම් සහ නව සංස්කරණයට යාමට වියදමක් දැරීමට අවශ්‍ය නොවීමත් ඒවායේ ඇති වැදගත් ලක්ෂණයකි. Gnu/Linux, Apache ඇතුලු server සඳහා භාවිතා කරන මෘදුකාංග, Php, Firefox ඇතුලු ගොඩක් දේවල් පැරදවීමට වානිජ මෘදුකාංග අසමත් වී තිබේ.


Bugs නොහොත් දෝෂ


විවෘත මූලාශ්‍ර මෘදුකාංගවලත් bugs නොහොත් මෘදුකාංග දෝෂ තිබෙනවා. ලෝකයේ තිබෙන සෑම මෘදුකාංගයකම වගේ භේදයක් නොමැතිව අඩුම ගණනේ එක දෝෂයක්වත් තිබෙනවා. නමුත් විවෘත මූලාශ්‍ර මෘදුකාංගයක තියෙන වාසි අවාසි ගැන සිතීමට පෙර අප මෙසේ සිතුවොත්, දැවැන්ත බලවත් සමාගමක නිපදවන මෘදුකාංගයක් ඔබ විශාල මුදලකට මිලදී ගත්තායැයි සිතමු. ඒ මෘදුකාංගයේ කුමක් හෝ දෝෂයක් ඔබ සොයා ගත්තා යැයි සිතන්න. ඉන්පසු ඔබ කරනා දේ මෙය යැයි උපකල්පනය කළහොත්,

  • ඔබ පළමුව ඔවුන්ට මේ ගැන දන්වයි. ඉන්පසු? ඔවුන් එම දෝෂය නිවැරදි කරතියි ඔබ බලාපොරොත්තුවේවි,
  • දෙවනුව එය හැකි ඉක්මනින් කරයි කියා බලාපොරොත්තුවේ,
  • තෙවනුව එම මෘදුකාංගයේ ඊලඟ සංස්කරණය සඳහා ඔවුන් විශාල මුදලක් අය නොකරතියි සිතයි.
  • ඒවගේම ඊලඟ සංස්කරණයේ නව විශේෂාංග සමග තවත් දෝෂ නොතිබේයැයි බලාපොරොත්තු වීමයි.
  • තවත් දෙයක් නම් එම සමාගම බංකොලොත් නොවේයැයි බලාපොරොත්තු වීමයි.
එහෙම බැලූවිට අපි විවෘත මූලාශ්‍ර මෘදුකාංගවල පහසුකම් මදි යැයි දෝෂාරෝපණය කිරීම කෙතෙක් දුරට සාධාරණද?


මෘදුකාංග සුරක්ෂිතභාවය නොහොත් පැවැත්ම

හොඳ මෘදුකාංග සෑදු ආයතන එක්වරම වසා දමා එහි පාරිභෝගිකයින් අතරමංකර ගිය අවස්ථා එමටයි. එක්කෝ එම ආයතනය විකුණා දමා ඉන්පසු එය මිලදී ගත් අය එම මෘදුකාංගය නිෂ්පාදනය අත්හැර දමා පාරිභෝගිකයින් අතරමං කර දැමීම අපි අත්දැක ඇත. උදාහරණ ලෙස Neoworks ආයතනය McAfee විසින් මිලදී ගෙන Neotrace නැමති මෘදුකාංගය අත්හිටුවීම, Macromedia ආයතනය Adobe විසින් මිලදීගෙන Fontographer මෘදුකාංගය අත්හැර දැමීම පෙන්විය හැක.


විප්ලවකාරීන්


තම මෘදුකාංගය Open source කර ප්‍රජාවට භාරදුන් ආයතනද සිටී. නොයෙකුත් හේතූන් මත එසේ කළද එමගින් එම මෘදුකාංගයේ තත්වය වැඩි දියුණුවී නව පෙරළියක් සිදුකළ අවස්ථා ද කිහිපයක් දැක්විය හැක. එනම්,

1. Netscape සමාගම නිපදවූ Netscape Navigator opensource කර Firefox බවට පත්කිරීම,
2. Blender මෘදුකාංගය මුලින් වානිජව නිපදවූවද පසුව Open source කිරීම,
3. Sun Star office open source කර openoffice.org ලෙස නිකුත්කිරීම,
4. Eudora open source කර Penelope ලෙස නිකුත් කිරීම


GNU සහ GNA


මේ දෙගොල්ලෝ කණ්ඩායම් දෙකක් බව පෙනුනාට බොහෝවිට එකක් කියා අප සිතීමට පුළුවනි. නමුත් මේ දෙකේ බරපතල වෙනසක් තිබෙනවා. එනම්,
GNU කණ්ඩායම මූලික වී සිටින්නේ මෘදුකාංග වල කේතයන් විවෘතව ඔනෑම කෙනෙකුට ලබා දිය යුතුය යන ප්‍රතිපත්තියේය. එනම් foss කියා කෙටියෙන් හැඳින්වුවත් FLOSS (Free Libre Open Source Software) නමිනුත් හඳුන්වන මෘදුකාංගයි. නමුත් GNA කණ්ඩායම කියන්නේ තමන් හදන මෘදුකාංගවල කේත කාටවත් විවෘතව ලබා දීමට අනවශ්‍ය අතර එම මෘදුකාංගය Compile කර නොමිලයේ ලබාදීම පමණක් ප්‍රමාණවත් බවයි. Freeware කියලත් මේකට කියන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ දෙකේ පරස්පරයන් තිබුනද අන්තිමේදී කියන්නට වෙන්නේ මේ දෙකම නොමිලයේ ලැබෙන නිසා අපි වගේ දුප්පත් අයටනම් හොඳ බවයි. නමුත් මෘදුකාංගයේ source code එක දෙන එක කෙතරම් අගනේද යන්න තේරුම් යන්නේ කීයෙන් කීදෙනාටද යන්න තවත් කාරණයකි.


එමෙන්ම තවම කවමදාවකවත් හදලා ඉවර නොවෙන විවෘත මූලාශ්‍ර මෘදුකාංගද ඇත. එයින් පළමුවෙනියා ලෙස Open source software ප්‍රවනතාවය ආරම්භ කළ GNU ප්‍රජාව 1984 සිට තවම නිපදවීම සම්පූර්ණ කර නැති Gnu Hurd නැමති operating system එක නම් කල හැකිය. තවම එහි වැඩ අවසන් නැති නිසා ඔවුන් නිපදවූ අනෙකුත් මෘදුකාංග (Gnu utilities) සමග වැඩ කරවීමට 1991 දී Linus Torvald සෑදූ Linux kernel එක භාවිතා කරයි. මේ ගැන GNU වෙබ් අඩවියේද සඳහන් කර ඇත. Gnu Hurd සම්පූර්ණ කළහොත් එය අනෙකුත් Operating systems කැළෑවට යවන අනර්ඝ එකක් බවට පත්වන බව කවුරුත් දන්නා කරුණකි.


අනාගතය?

විවෘත මූලාශ්‍ර මෘදුකාංග නිපදවීම සඳහා විශාල පිරිසක් දායක වන්නේ ස්වේඡාවෙන් එමෙන්ම කිසිම මුදලක් නොලබායි. ඔවුන් තම කාලය මේ සඳහා යොදවන්නේ බොහෝ විට තමන්ට නිදහස් වෙලාවක් ඇති විටයි. සුළු පිරිසක් පමණක් මේ සඳහා පූර්ණ කාලීනව දායකවේ. එනිසා මේ සඳහා මුදල් ආධාර ලබාදී පුද්ගලයින් පූර්ණකාලීනව වැඩි වැඩියෙන් යෙදවූවහොත් වානිජ මෘදුකාංග හා සමාන තත්වයේ පහසුකම් දැනට නොමැති මෘදුකාංග එම තත්වයට පත් කල හැකියි.

විවෘත මූලාශ්‍ර මෘදුකාංග හෝ වානිජ මෘදුකාංග හෝ වේවා වැදගත්මදේ වන්නේ මේ දෙකෙන්ම අපි කරන්නේ එකම කාර්යයක් බව තේරුම් ගැනීමයි. ඒ වගේම නිකං හම්බවෙන අස්සයගෙත් දත් ගණන් කරමින් සිටිනවාට වඩා මුදල්, ශ්‍රමය හෝ අඩුම ගණනේ භාවිතා කිරීමෙන්වත් දායක වීමෙන් විවෘත මූලාශ්‍ර මෘදුකාංග දියුණු කිරීමට සහය වීම අප කළ යුතුයි. තමන්ට කරන උදව්වක් හැටියට විවේචනය කර කර ඉන්නේ නැතුව විවෘත මූලාශ්‍ර මෘදුකාංග භාවිතය ආරම්භ කරන්න. ටිකක් අමාරුයි වගේ වුනාට අත හරින්න එපා. අතහැරියොත් පාඩුවත් තමන්ටමයි. (නැවත මතක් කිරීමකි)

3 comments:

Danishka said...

"Openoffice.org නොහොත් දැන් Libreoffice ලෙස"

තවමත් Openoffice.org නිපැයුමක් ලෙස තියෙනවා Openoffice.org නවත්තලා නෙමේ LibreOffice පටන්ගත්තේ. :)

Anonymous said...

අපේ වැනි රටක වාණිජ මෘදුකාන්ගත් නිකන් ලැබෙන නිසා(හොර කොපි භාවිතය සුලබ නිසා) ගොඩක් දෙනා තාමත් නිදහස් මෘදුකාන්ග ගැන හිතන් නැති තත්වයක් තියෙන්නෙ.

සහන් සටහන් said...

මාත් දැන් ටික ටික මේ පැත්තට ඇදෙනවා....
එක අතකින් open source බයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් වීමත් වින්ඩෝස් වල කරන වැඩ (අතලොස්සක් හැර උදා: adobe) බොහොමයක් ඒ විදිහටම කරගන්න පුලුවන් වීමත් නිසා මම දැනට වින්ඩෝස් එක්ක ලිනක්ස් පාවිච්චි කරනවා.
(ලිනක්ස් කීවට හැටහුට හමාරක් තියනවනේ මොකක්ද හොඳ එක? මම මින්ට් kde තමා දාල තියෙන්නේ ඒකෙ ඉන්ටනෙට් කනෙක්ශන් එක හදන්න පොඩි අවුලක් නම් තියනවා ඒ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නම් නෑ)