Wednesday, June 10, 2009

Fedora 11 ඕනද?

ඕන කෙනෙක් ඉන්නවනම් ලංකානෙට් එකට ලියන්න. Fedora වෙබ් අඩවියෙන් ඉල්ලනවානම් වඩාත් සුදුසුයි. දන්නවනේ මේක නොමිලේ දෙන්නේ. එහෙම කියලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙන අය ඉල්ලන්න එපා. අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම නැති අය විතරක් ඉල්ලන්න.

මේකත් එක්ක ලස්සන ස්ටිකර් එහෙම බලාපොරොත්තු වෙන්නත් එපා. අතින් වියදම් කරලා පුළුවන් විධියටයි දෙන්නේ. මේක තියෙන කෙනෙක් ඉන්නවනම් හැකි ආකාරයෙන් තවත් අයට පිටපත් ලබා දීමට කාරුණික වන්න. තාම මමත් මේක ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තා විතරයි.

මේ පණිවිඩය අන් අයටත් දැනුම් දෙන්න...

Tuesday, May 26, 2009

Ubuntu restricted extras offline installer

Ubuntu restricted extras offline installer
Ubuntu 9.04 පාවිච්චි කරන අයට සුභ ආරංචියක්!

හැමෝම දන්නවා උබුන්ටු CD එකේ dvd, Mp3 සහය සහ තවත් අත්‍යාවශ්‍ය වන උපාංග නැහැ කියලා. ඒත් ඒවගේ අත්‍යාවශ්‍ය දේවල් දාගන්න අන්තර්ජාල පහසුකම නැති අයට විධියක් නැහැ. ඒකට හොඳ විසඳුමක් දැන් තියෙනවා ඒකට කියන්නේ Ubuntu-restricted-extras offline installer කියලයි. ඒකෙන් අපිට අන්තර්ජාලය නැති Ubuntu පරිගණකයකට පහත දැක්වෙන දේවල් හරිම පහසුවෙන් දාගන්න පුළුවන්.


මෙන්න ලැයිස්තුව:

* Adobe Flash player
* Various additional multimedia codecs (including MP3)
* Support for playing DVD-movies
* Microsoft TrueType core fonts
* unrar (to open RAR files)
* EXTRA packages: Java, libdvdcss

මෙතනින් බාගන්න (82.5MB):

ටොරන්ට්:
http://www.mininova.org/tor/2540622
අන්තර්ජාලයෙන්:
http://www.zshare.net/download/59368408526cd812/

මෙන්න උපදෙස්:
Instructions:

1. unpack/extract
2. double-click the file "install.sh" on folder "offline-installer"
3. Select "run in terminal"
4. Enter your password if/when the installer asks you
5. Acept Java license when that appears, by pressing:
6. When program finishes, close the window and remove the folder "offline-installer"

වැඩිදුර දැන ගැනීමට අවශ්‍යනම්:
http://hacktolive.org/wiki/Ubuntu-restricted-extras_offline_installer

මේක අන්තර්ජාලය නැති ඔබේ මිතුරන් අතර බෙදා හරින්න!
බලන්න කොච්චර ලේසිද කියලා...

Monday, April 20, 2009

ලිනක්ස් පරිගණකයකින් Internet connection එක share කරගමු.

සැළකිය යුතුයි!
1. මේ ලිපිය proxy server ගැන නොවේ. internet gateway එකක් සකස් කර ගැනීම ගැන පමණයි.
2. මෙම විධානයන් සහ settings කිරීමට ඔබ root user ලෙස පරිගණකයට login වී සිටිය යුතුයි.
3. iptables firewall ගැන තරමක් හෝ දැන සිටීම සුදුසුයි. නමුත් මෙම ලිපියේදී iptables settings කිරීමට අවශ්‍ය සියළු කරුණු දක්වා ඇත.
4. ඔබ SeLinux ක්‍රියාත්මක කර ඇත්නම් එය permissive mode එකට හැරවීම හෝ Dissable කිරීමෙන් SeLinux මගින් සිදුවන අවහිරතාවයන් මගහරවා ගත හැක.
Permissive mode එකට හැරවීමට පහත විධානය දෙන්න.:

setenforce 0


මේක සකස් වී ඇති ආකාරය (රූපය බලන්න):
1. අන්තර්ජාලය හා සම්බන්ධ වන පරිගණකයේ ලිනක්ස් භාවිතා කෙරේ
2. තවත් පරිගණක කිහිපයක් LAN එකේ නොහොත් සාමාන්‍ය අභ්‍යන්තර පරිගණක ජාලයට සම්බන්ධ කර ඇත
3. අන්තර්ජාලය හා සම්බන්ධ වන පරිගණකයේ ජාල මුහුනත් දෙකක් ඇත ඒ කියන්නේ network cards 2ක් ඇත. එකක් Modem/Router/Wireles Device එක හරහා අන්තර්ජාලයටත්, අනෙක network switch එක හරහා අභ්‍යන්තර ජාලයටත් (LAN) සම්බන්ධ වී ඇත
4. LAN එකේ පරිගණක ලිනක්ස් පරිගණකය හරහා අන්තර්ජාලය සමග සම්බන්ධවේ


පියවර:


1. පරිගණකයේ network cards configure කිරීම
2. firewall settings කිරීම

3. ip forwarding ආරම්භ කිරීම

4. අනෙක් පරිගණක වල Network settings කිරීම




දැන් අපි එකින් එක විස්තරාත්මකව කරන ආකාරය බලමු


පරිගණකයේ network cards configure කිරීම


1. පලමුව, අන්තර්ජාලයට සම්බන්ධ වීමට එක් Network card එකක setting සකස් කරන්න.
උදා:eth0 card එක ඔබේ ISP නොහොත් අන්තර්ජාල සේවා සපයන්නාගේ උපදෙස් අනුව සකස් කරගන්න.

2. පරිගණකයට අන්තර්ජාලයට පිවිසීමට හැකිදැයි පරීක්ෂා කර බලන්න

3. දෙවන Network card (eth1) එක ඔබේ LAN එකට ගැලපෙන ආකාරයට settings කරගන්න.
උදා: ඔබේ LAN එක භාවිතා කරන්නේ 192.168.0.0 අකාරයේ නම් එයට අනුකූල IP Address එකක් භාවිතා කරන්න. මම දක්වා ඇති එකේ ආකාරයට නම් 192.168.0.1 ලෙස IP address එක යොදා ඇත.



Firewall settings කිරීම:


පළමුව අප ප්‍රධාන පරිගණකයේ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති network card එක කුමක්දැයි දැනගත යුතුවේ. මෙහිදී මා eth0 ලෙස දක්වන්නේ මගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වන Network card එකේ නම වේ. ඔබේ eth1 හෝ වෙන එකක් විය හැක. 192.168.0.0/24 ලෙස ඇත්තේ මගේ අභ්‍යන්තර (Lan) ජාලයේ ip address subnet range එකවේ. ඔබේ 192.168.1.0/24 හෝ වෙන එකක් විය හැක. ඉන්පසු,

1. මෙසේ විධානය දෙන්න:

iptables -t nat -A POSTROUTING -o eth0 -j MASQUERADE

කැමතිනම් පහත විධානය දෙන්නත් පුළුවන්. හැබැයි මෙතනදී routing පහසුකම 192.168.0.0/24 subnet එකේ ඇති ඒවාට පමණක් ලබාදේ.

iptables -t nat -A POSTROUTING -s 192.168.0.0/24 -o eth0 -j MASQUERADE

විධාන දෙකෙන් එකක් දෙන්න

2. දැන් ඔබ යෙදූ විධානයෙන් සිදුවන ක්‍රියාව සුරක්ෂිත කිරීමට මේ විධානය දෙන්න (to save your changes to iptables)

fedora, Redhat හෝ CentOs සඳහා:

service iptables save

Ubuntu සඳහා:

iptables-save > ipt123

cat ipt123 | iptables-restore

Ubuntu වලට මෙහෙමත් කරන්න පුළුවන්:

/etc/rc.local ගොනුව ඇතුලට මේ පේලි දෙක දමා save කරන්න.

/sbin/iptables -P FORWARD ACCEPT
/sbin/iptables -t nat -A POSTROUTING -o eth0 -j MASQUERADE


සටහන:
උබුන්ටුහි මෙම firewall settings save වෙන්නේ /var/lib/iptables යන ගොනුව තුලයි. නමුත් redhat, fedora හෝ CentOs වැනි එකක save වෙන්නේ /etc/sysconfig/iptables යන ගොනුව තුලයි. ඔබට අවශ්‍යනම් මෙම ගොනුව අතින් වෙනස් කරන්න.

3. ඔබේ iptables firewall එක මෙසේ විධානය දීමෙන් restart කරන්න නැත්නම් පරිගණකය restart කරන්න

/etc/init.d/iptables restart

නැත්නම් මේ විධානය දෙන්න. දෙකෙන්ම වෙන්නේ එකම ක්‍රියාවක් වුවත්, පහත විධානය උබුන්ටු වල ක්‍රියා කරන්නේ නැත.

service iptables restart



ip forwarding ආරම්භ කිරීම


Ip forwarding මගින් ඔබේ අභ්‍යන්තර ජාලයේ (Lan) පරිගණක සඳහා routing පහසුව ලබා දේ. සරලව පැවසුවොත් ජාල කිහිපයක් අතර සන්නිවේදනයට පහසුකම් සැපයීමට routing අත්‍යාවශ්‍යම අංගයකි. අභ්‍යන්තර ජාලයේ ඇති පරිගණකයක් අන්තර්ජාලයේ වෙබ් අඩවියකට (Lan to Internet) යෑමට සකස් කරනවිට (When you set up a computer) gateway address එකක් ලබා දීමට අවශ්‍යය. මෙය හරියට LAN එකක ඇති router එකේ IP address එකට සමානය.

1. දැන් /etc/sysctl.conf file එක පහත ආකාරයට වෙනස් කරන්න:

2. මෙන්න මේ පේළිය සොයා ගන්න:
net.ipv4.ip_forward = 0

3. දැන් මෙසේ වෙනස් කරන්න:
net.ipv4.ip_forward = 1

නමුත් Ubuntu හි එම පේලිය comment කර ඇත. # සළකුණ ඉවත් කිරීම පමණක් මෙහිදී ප්‍රමාණවත්වේ.

මතක තබාගත යුතුයි!

ip forwarding අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි. etc directory එකේ ඇති sysctl.conf ගොනුව විවෘත කර හොඳින් පරික්ෂා කර බලන්න. එම ගොනුව වෙනස් කිරීමට ඔබ root user ලෙස සිටිය යුතුයි.


අනෙක් පරිගණක වල settings කිරීම


දැන් ඔබගේ gateway server එක ලෑස්තියි. දැන් ඔබේ LAN එකේ ඇති අනෙත් පරිගණක වලට මේ ආකාරයට Network settings කරන්න.

1. Gateway address: 192.168.0.1
2. DNS: මෙතනදී ඔබේ ISP ගේ DNS address එක දෙන්න
3. IP address: 192.168.0.10 වගේ Gateway address එකට ගැලපෙන ආකාරයට දෙන්න


පසු වදනක්....

DHCP server එකක් ලෙසට gateway server එක සකස් කළහොත් අනෙක් පරිගණකවල Network settings අපිට අමුතුවෙන් කරන්න අවශ්‍ය නොවේ. එම පරිගණක සියල්ලෙහි network settings "Auto" ලෙස සැකසීම පමණක් සෑහේ.

DNS එකේදී gateway computer එකේ ip address එක දෙන්න නම් අපි server එක DNS server එකක් ලෙසට සකස් කළ යුතුයි. මේ ගැන ඔබට දැනගැනීමට අවශ්‍යනම් ඉල්ලීම් කරන්න. එවිට ඉදිරි ලිපිවලදී සවිස්තරාත්මකව DNS server එකක් සකස් කරගන්නා ආකාරය පැහැදිලි කරන්නම්.


මේකෙ ගුණ දොස් ඇතොත් මට දැනුම් දෙන්න.

Thursday, April 2, 2009

Fedora 10 Request form is Open!

ඔන්න අප්‍රේල් මාසයට fedora 10 ගෙන්වා ගැනීමේ ඉල්ලුම් පත්‍රය විවෘතයි!

වහාම කැමති අයෙක් වෙතොත් form එක පුරවා එවන්න. අපි හැකි අයුරින් ඔබ වෙත Fedora 10 Dvd එක ලැබෙන්න සලස්වන්නම්.

මෙන්න ලින්ක් එක:

http://fedoraproject.org/freemedia/FreeMedia-form.html

සැ.යු:
මිතුරු මිතුරියනි, මේ CD/DVD අපිට පුළුවන් විධියට write කරලා අතින් වියදම් කරගෙනයි ඔබ වෙත ලැබෙන්න සලස්වන්නේ. ඒ නිසා කරුණාකර මේවා ඔබට download කරන්න බැරිනම් පමණක් අපෙන් ඉල්ලන්න.

අනිත් එක, මේවා එක්ක Ubuntu වගේ ලස්සන stickers අපි එවන්නෙත් නෑ. දැනට අපි (ලංකානෙට් එකෙන්) එවන්නේ i386 නැතහොත් 32bit version එක විතරයි. සිම්පල් විධියට dialog broadband connection එකකින් දුකසේ Download කරලයි ගන්නේ.

Monday, March 30, 2009

ලිනක්ස් හි root password එක අමතක වුනාම මොකද කරන්නේ?

මෙම ක්‍රමය fedora, CentOS හෝ Redhat සඳහා යොදා ගත හැක.

1.
පරිගණකය boot වෙන අවස්ථාවේදී එන grub menu එකෙන් ඔබේ ලිනක්ස් එක arrow key වලින් තෝරා Enter වෙනුවට යතුරු පුවරුවේ a අකුර ඔබන්න
ඉන් පසු පහත සඳහන් ආකාරයේ පේළියට ආසන්න ආකාරයේ එකක් ඔබට පෙනෙනු ඇත

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet

2. එම පේළියේ කෙළවරට පහත ඇති ආකාරයට අංක 1 ඇතුලත් කරන්න

kernel /vmlinuz-2.6.27.19-78.2.30 ro root=LABEL=/ acpi=on rhgb quiet 1

3. දැන් Enter යතුර ඔබන්න. මේ අවස්ථාවේදී grub විසින් ඔබව root පරිශීලකයා ලෙසට ලිනක්ස් පද්ධතියට boot කර යවයි. නමුත් ඔබව විධාන පමණක් යෙදිය හැකි මාධ්‍යයට යැවේ. (Text/Terminel mode)මෙය මේ අවස්ථාවට පමණක් එසේ සිදුකරයි.

4. දැන් ඔබ log වී ඉන්නේ root විධියටයි. එතනදී passwd ලෙස විධානය දෙන්න.

5. දැන් ඔබේ අළුත් මුරවචනය දෙන්න.ඉන්පසු පරිගණකය reboot කරන්න.
(ඉඟි: reboot කිරීමට shutdown -r now විධානය දෙන්න.)

Tuesday, March 24, 2009

නොමිලේම ලිනක්ස් සංගත තැටි ගෙදරට ගෙන්න ගන්න...

අද මට හිතුනා ඕගොල්ලන්ට පුංචි හෝඩුවාවක් දෙන්න.

දන්නවද, ලඟදීම ලංකානෙට් එකේ අපි මේ ලිනක්ස් වර්ග නොමිලේ ඔබගේ ගෙදරටම එවනවා! ඇත්තටම අවශ්‍ය අය ඉන්නවනම් අපිට දැනුම් දෙන්න. අදහස් උදහස් වෙතොත් අපිට කියන්න. ඔබේ අදහස් අපේ මෙම ක්‍රියාවලියට ලොකු සහයෝගයක් වෙනවා.

Super Ubuntu
Fedora
knoppix


අපේ වෙබ් අඩවියෙන් මේවා ඉල්ලන්න.

www.lankanet.org


සීමිත ප්‍රමාණයක් තමයි දැනට දෙන්නේ. අනාගතයේදී ඉල්ලුමට සරිලන විධියට සැපයුම කරන්න බලාපොරොත්තු වෙනවා.

Monday, March 16, 2009

පදවියටත් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගෙන ගිය වගයි!


ඔන්න ලංකානෙට් එකේ අපි තවත් පිම්මක් පැන්නා! මේ පාර අපි පදවිය නගරයට ගොස් අපට හැකි ආකාරයෙන් උපරිමයෙන් නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග නොඑසේනම් FOSS ගැන විවෘත හා සංවාදාත්මක සම්මන්ත්‍රණයක් සහ පුහුණු වැඩමුළුවකුත් කළා.

සම්මන්ත්‍රණයට පළාතේ සෑම තරාතිරමක අය සහභාගි වුනා. සම්මන්ත්‍රණය පැවැත්වූයේ පදවිය මහසෙන් නවෝද්‍ය මහා විද්‍යාලයේදියි. එදින LTSP තාක්ෂණය ගැනත් FOSS වලට අමතරව හඳුන්වා දුන්නා. මේ පළාතට හරිහමන් විධියේ අන්තර්ජාල පහසුකමක්වත් නෑ. ඒ තරම්ම තොරතුරු තාක්ෂණයෙන් ඈත් වෙලා. නැත්නම් ඈත් කරලා. නොයෙකුත් හේතු නිසා පාසල්වල පරිගණක නිකං පුස්කනවා. මේ සම්මන්ත්‍රණයෙන් පස්සේ ඒ තත්වය වෙනස් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පුහුණු වැඩමුළුව තුලදී අපි පරිගණකයේ Linux (Fedora and Ubuntu) ස්ථාපණය කරන හැටි, පරිශීලණයේදී දැනගත යුතු වැදගත් කරුණු, මෙහි ඇති ප්‍රයෝජනය සහ පැනනගින ගැටළු නිරාකරණය කිරීම ඇතුළු ගොඩක් දේවල් පිළිබඳව එයට සහභාගි වූවන්ව දැනුවත් කළා.

පදවියේ තියෙන e-Vision Lanka ආයතනයේ සහය ඇතිව අප මෙම සම්මන්ත්‍රණය හා පුහුණු වැඩමුළුව පැවැත්වුවා. වැඩේ ඉතා සාරථක බව අතිශයෝක්තියකින් තොරව කියන්න පුළුවන්. FOSS ආශ්‍රිත පරිගණක අධ්‍යාපණය ප්‍රවලිත කිරීමේ අරමුණින් අප ලංකානෙට් ආයතනය විසින් LTSP ස්ථාපණය කරණ ලද නව පරිගණකයකුත් පදවිය නගරයට ලබා දුන්නා!
මෙන්න මේ පින්තූරයේ තියෙන්නේ මම මුලින් ලිපිවලදී සඳහන් කළ LTSP ක්‍රමයට සකස් කරන ලද පරණ පෙන්ටියම් 1 පරිගණකය සහ අළුත් Dual core පරිගණකයයි.

මෙන්න මෙතනින් තවත් පින්තූර ටිකක් බලතෑකි